සීතල සුළං රැලි
බිත්තියත් වහලයත්
අතර ඇති කවුළුවෙන්
සීතල සුළං රැලි ඇවිත්
ඇදමත දිගාවෙලා හිටපු මගේ
යටිපතුල් සීතල කලා
කෙමෙන් හිස් මුදුනටම ආ එය
මුළු සර්වාංගයම ගෙන
අමුතුම අමුතු මාවතක
අතහැරිය වගේ දැනුනා
හිතට දැනුන තනිකම
පාළුව විතරක් නෙමෙයි
වේදනාවද නැතිකරන්න
රැහැයියන්ගේ නාදයට
පුළුවන් කමක් වුණේනැහැ.
වහලෙට වැටුණ පුංචි පිණිබිංදු
අපූරු වින්දනයක් ගෙනදුන්නත්
ඒක පාළු දූපතක අතරමංවුණු
ලස්සන කුමාරිකාවකට හම්බුණ
මුතුමැණික් ආයිත්තම් වගේ වුණා
සීතලට ගුලිවෙලා දෑස් පියාගෙන
ලස්සන හීන මවන්න තරම්
හිතක් නැතිවුණේ කොහොමදවත්
මට නොතේරෙනවා නෙමේ වෙන්නැති
මේ මූසලවෙච්චි තනිකමෙන් ඈතට
අත්තටුගහලා පියඹලා යන්න පුළුවන්නම්
දෑස් අගට ආව කදුළු බිංදුව
පහලට වැටෙන්න දෙන්නැතුව
උගුර ඉකියක් හිරකරගෙන
අකමැත්තෙන් හරි පොරෝනය තුළටවෙලා
දෑස් තදකරලා වහගෙන
නිදිකුමාරයට තුරුල්වෙන්න දැන්
වෙලාව ඇවිත් වගේ මට හිතෙන්නේ.........
No comments:
Post a Comment